සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ළමාහේවගේ මැතිතුමා 2021 ජූලි මස 14 වන දින යුධ හමුදාපති හා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමන් යුධහමුදා මූලස්ථාන පරිශ්‍රයේදී මුණගැසිනි.
නව ධුරයේ රාජකාරී භාර ගැනීමෙන් පසුව සංකේතාත්මකව යුධහමුදාධිපති තුමන් මුණගැසුණු අධ්යක්ෂ ජනරාල්තුමන් හට සුභ පැතුම් එක්කල යුධහමුදාධිපති තුමන් දෙපාර්තමේන්තුවේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳව මෙන්ම රටේ ආරක්ෂාව සහ කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ සිවිල් ආරක්ෂක දෙපර්තමේන්තුව ලබා දිය යුතු සහාය පිළිබදව උපදෙස් ලබා දෙන ලදි.
එම අවස්ථාව සනිටුහන් කරමින් යුධ හමුදාධිපතිතුමන් හා අධ්යක්ෂ ජනරාල්තුමන් සමරුපලක හුවමාරු කරගන්නා ලදි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ළමාහේවගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයු මැතිතුමා 2021 ජූලි මස 13 වන දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් අරලියගහ මන්දිරයේදී මුණගැසිනි.
නව ධුරයේ රාජකාරී භාර ගැනීමෙන් පසුව සංකේතාත්මකව ගරු අග්‍රාමාත්‍යතුමන් මුණගැසුණු අධ්යක්ෂ ජනරාල්තුමන් හට දෙපාර්තමේන්තුවේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳව මෙන්ම රටේ ආර්ථික සංවර්ධනයට හා සමාජ සුභසාධනය වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපර්තමේන්තුව ලබා දිය යුතු සහාය පිළිබදව උපදෙස් ලබා දෙන ලදි.
එම අවස්ථාව සනිටුහන් කරමින් අධ්යක්ෂ ජනරාල්තුමන් විසින් අග්‍රාමාත්‍යතුමන් වෙත සමරුපලකයක් ප්රදානය කරන ලදි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 09 වන අධ්යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලැබ 2021 ජූලි මස 08 වන දින වැඩ භාර ගැනීමෙන් පසුව මේජර් ජෙනරල් රන්ජන් ළමාහේවගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයු මැතිතුමා අද දින (2021 ජූලි මස 12) මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මැතිතුමා එම අමාත්‍යාංශ පරිශයේදී මුණගැසී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉදිරි කාර්යයන් හා වගකීම් සම්බන්ධයෙන් සුහද පිළිසඳරක නිරත විය.
එහිදී මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) ජගත් අල්විස් මැතිතුමාද මුණගැසී සුහද සාකච්ඡාවක නිරත විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ළමාහේවගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයු මැතිතුමා 2021 ජූලි මස 13 වන දින ගරු ආරක්ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මැතිතුමා එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී මුණගැසී දෙපාර්තමේන්තුවේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳව සුහද පිළිසඳරක නිරත විය. එම අවස්ථාව සනිටුහන් කරමින් ආරක්ෂක ලේකම්තුමන් හා අධ්යක්ෂ ජනරාල්තුමන් සමරුපලක හුවමාරු කරගන්නා ලදි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 09 වන අධ්යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලැබූ මේජර් ජෙනරල් නෙවිල් රන්ජන් ළමාහේවගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයූ මැතිතුමන් 2021 ජුලි මස 08 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේදී මහා සංඝරත්නයේ පිරිත් සඡ්ඡායන මැද සුභ නැකතින් නව තනතුරේ වැඩභාර ගත්තේය.
ගාල්ල මහින්ද විද්‍යාලයෙන් හා ගාල්ල ඇලෝසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරීමෙන් පසු 1986 ඔක්තෝම්බර් 27 වන දින දියතලාව ශ්‍රී ලංකා යුධහමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරී පුහුණුව ඉතා සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව දෙවන ලුතිතන්වරයෙකු ලෙස ගජබා රෙජිමේන්තුවට බැදී යුධ හමුදාවේ වසර 35ක විශිෂ්ඨ සේවයක් ඉටු කල ඔහු ශ්‍රී ලංකාවේ හා විදේශයන්හිදී විශේෂ පාඨමාලා හදාරා ඇති අතර කුරිරු එල්ටීටීඊ ත්රස්තයන් හමුවේ යුද්ධයේදී දක්වන ලද විශිෂ්ඨ දක්ෂතා වෙනුවෙන් රණවික්‍රම පදක්කම හා රණශූර පදක්කමෙන් තුන්වතාවක් පිදුම් ලබා ඇත.
නව අධ්යක්ෂ ජනරාල් ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල්,අධ්යක්ෂ මණ්ඩලය, බලකා අණදෙන නිලධාරීන් ඇතුලු මූලස්ථානයේ සියලුම භට/භටවරියන් අමතන ලදි.