තිස්වසරක් පුරා ලක්ධරණීතලය වෙලාගත් සාපලත් ත්රස්තවාදයට නැවතීමේ තිත තැබීමට දායක වූ ත්‍රිවිධ හමුදා, පොලීසිය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකයින්ට උපහාර පුදනු වස් අනුරාධපුර යුගයේදී ඉදිවූ මහා චෛත්‍යවලින් පසු නූතන යුගයේ ඉදිවූ විශාලතම චෛත්‍ය ලෙස සැලකෙන සඳහිරු සෑයේ කොත්වහන්සේ නිරාවරණය කොට ලෝකවාසී ජනීජනයාගේ වන්දනාමානය උදෙසා සඟසතුකොට පූජාකිරීමේ පූන්යෝත්සවය 2021 නොවැම්බර් මස 18 වන ඉල් පොහෝය දින අනුරාධපුරයේදී පැවැත්විණි.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රා) මැතිතුමන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිතුමන් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන්ගේ හා සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් අනුරාධපුර සඳහිරු සෑයේ කොත්වහන්සේ නිරාවරණය කර ලෝකවාසී ජනීජනයා වෙනුවෙන් වන්දමාන කිරීම සඳහා සඟසතුකොට පූජා කරන ලදී.
තිස් වසරක් පුරා පැවති ත්‍රස්තවාදය අවසන් කර මව්බිම ලැබූ විජයග්‍රහණය සැමරීම වෙනුවෙන් හා ඒ උදෙසා තම ජීවිතය මව්බිම වෙනුවෙන් පූජාකළ හා රණක්ෂිතයට පත් ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් උදෙසා උපහාර පිදීමටත්, ජාති ආගම් බේදවලින් තොරව දිවි පිදූ සියලු දෙනා පින් අනුමෝදම් කර ආශිර්වාද කිරීම වෙනුවෙන් එවකට සේනාධිනායක අතිගරු ජනාධිපති වත්මන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව එවකට ආරක්ෂක ලේකම් වත්මන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පූර්ණ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ අතීත ශ්‍රී විභූතියට හිමිකම් කියන අනුරාධපුර පූජා භූමියේ ශ්‍රී ලංකාවේ විශාලත්වයෙන් හතරවෙනි චෛත්‍ය ලෙස සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු 2010 වර්ෂයේ දී ආරම්භ විය.
යුද්ධ හමුදාවේ, නාවික හමුදාවේ, ගුවන් හමුදාවේ,පොලීසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකයන්ගේ ශ්‍රම දායකත්වයෙන් සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරුණු අතර, 2012 වර්ෂයේ සිට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විල්පත්තුව බලකායේ ඇලයාපත්තුව ගඩොල් ව්‍යාපෘතිය මගින් ස්තූප ගඩොල් ලක්ෂ 67ක් පමණ ප්‍රමාණයක් සිවිල් ආරක්ෂක සාමාජිකයින්ගේ සුරතින් සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු සඳහා නිෂ්පාදනය කර ලබා දී ඇත. එලසම චෛත්‍ය ඉදිකිරීම් කටයුතු සඳහා සහ දෛනික වතාවත් සඳහාද සිවිල් ආරක්ෂක සාමාජිකයන්ගේ දයකත්වය ලබා දෙන ලදී.
සඳහිරු සෑයේ ඉඳිකිරීම් වෙනුවෙන් කැපවී ක්‍රියා කළ සිවිල් ආරක්ෂක සාමාජිකයින් ඇගයීම උදෙසා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ඇගයීමේ සහතිකපත් ලබා දීමද මෙහිදී සිදු විය.