මිනිසාගේ අවශ්‍යතා සඳහා අවශ්‍ය ආහාරපාන, ඇදුම්පැළදුම්, ඖෂධ වැනි ද්‍රව්‍යයන් තමා විසින් ම සපයා ගනු ලබන කෘෂිකාර්මික ආර්ථික පසුබිමක් පැවති සමාජ වටපිටාවක අතීතයේ විසූ ජනයා ජීවත් වූ බව පූරාවිද්‍යා සාක්ෂිවලින් මොනවට පැහැදිලි වී ඇති කරුණකි. එසේම මෙවන් වූ අවශ්‍යතාවන් සපුරාගැනීම උදෙසා කුඹුරු ගොවිතැන, හේන් ගොවිතැන මෙන්ම දේශගුණික විචල්‍යයන්ට සරිලන පරිදි කෘෂි කර්මාන්තයන්ගෙන් සමන්විත ආර්ථික ක්‍රමයක් පවත්වාගෙන ගොස් තිබේ. එවන්වූ ස්වර්ණමය යුගයක ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය බවට පත්වෙමින් සහලින් මෙන්ම අනෙකුත් පාරිභෝගික ආහාරවලින් ද ස්වයංපෝෂිත කරමින් ගොවීන් එකල වැව් සහ වාරිකර්මාන්ත පද්ධති අශ්‍රිතව මහා පරිමාණයෙන් කෘෂි කර්මාන්තය ඉතාමත් ඉහළ සාර්ථකත්වයක් තුළ පවත්වාගෙන යන ලදි.
මෙම අවදියේදී මිනිස් ජීවන රටාවන් වෙනස් කරමින් කුරිරු එල්ටීටීඊ ත්රස්තවාදීන් තම අයිතීන් වෙනුවෙන් සටන් කරමින් ගම්මාන වල අහිංසක ජනතාව ක්‍රමක්‍රමයෙන් බිලි ගත්තේය. තම දරුවන් හා ඥාතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවා රෑ නිදිවරාගෙන කණ්ඩායම් වශයෙන් එක්ව ගොවීන්ට ගම්මාන ආරක්ෂා කරන්නට සිදුවිය. තම ජීවිත ගැන නොතකා කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ ගම්මාන වල වැසියන් ගම්බිම් අත්හරිමින් රටේ දකුණු ප්‍රදේශයට සංක්‍රමණය වීම වළකමින්, තම ගම්බිම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ මේ ගම් වැසියන්ට ගම්මාන ආරක්ෂා කිරීම වෙනුවෙන් දෛනික වැටුපක් හා ගිනි අවියක් ලබාදී යුධ හමුදාවට සහාය දීම සඳහා සහායක හමුදාවක් ලෙස, "ග්රාමාරක්ෂක සේවය" පිහිටුවන ලදි.
එම සේවයේ අවශ්‍යතාවය තේරුම් ගැනීමත් සමඟ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නමින් ප්‍රතිනිර්මාණය කර ඔවුන්ගේ සේවය අභිප්‍රේරණය කරන ලදි. යුධ පිටියේදී තම ගම් ප්‍රදේශය හා භූමිය පිළිබඳව හොදින් හඳුනන මොවුන්ගේ සහාය යුධ හමුදා මෙහෙයුම්වලට මහත් රුකුලක් විය. යුධ හමුදාව බේරාගත් ගම්මාන ආරක්ෂා කර ගනිමින්, ගම් වාසීන් එම ගම්මාන වල නැවත පදිංචිකරමින්, කෘෂිකාර්මික කටයුතු නැවත ආරම්භ කරමින් සාමාන්‍ය ජන ජිවිත රැකගැනිම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඉමහත් සහායක් ලබා දෙන ලදි.
තිස් වසරක් පුරාපැවති කුරිරු ත්‍රස්තවාදය පරදවමින් යුධ විජයග්‍රහණය ලැබීමෙන් අනතුරුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භුමිකාව වෙනත් මානයකට යොමු කරමින්, යුධමය වාතාවරණයක් පැවති ප්‍රදේශවල ජන ජීවිතය යලි නගා සිටුවමින් ආර්ථික, සාමාජික හා සංස්කෘතික වශයෙන් සමෘද්ධිමත් කිරීමට සුවිශාල මෙහෙවරක් ඉටු කරමින් සිටියි. යුධ ජයග්‍රහණයේ සාඩම්බර කොටස් කරුවන් වූ ඔවුන් විවිධ විෂයන් ඔස්සේ මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් රැසක් ක්‍රියාත්මක කරමින් ඵලදායී ලෙස රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක වන ව්‍යාපෘතීන්හි නියැලෙමින් සිටි.
යුධ සමයේදී යුද්ධයෙන් විනාශයට පත්වූ මුඩු බිම් නැවත අස්වැද්දීමේ ක්‍රියාවලියට එකතුවෙමින් වගා සංග්‍රාමය ආරම්භ කළේය. මහඔය බෝගමුයාය හා පොළොන්නරු තොප්පිගල කුඹුරු යායෙන් ආරම්භ කළ වගා සංග්‍රාමය මේ වන විට රටේ විවිධ ප්‍රදේශයන් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කර ඇත. මහවැලි අධිකාරිය මගින් ලබාගත් ඉඩම්, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තාවකාලිකව ලබාගත් ඉඩම් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින් අඳ ගොවි ශ්‍රමය යටතේ ඉඩම් ලබා ගනිමින් කුඩා, මධ්‍ය හා විශාල ප්‍රමණයේ කෘෂි ව්‍යාපෘතින් දහස්ගණනින් ආරම්භ කර ක්‍රියාවට නංවමින් සිටි.
මුඩු බිමක් අස්වද්දා අස්වනු නෙලීමම පහසු කර්යයක් නොවේ. ඒ පිළිබඳව බුදුන් දවස අමිතෝදන රජු පුතුන් වූ මහානාම හා අනුරුද්ධ කුමරුවරුන් අතර සිදු වූ සංවාදයෙන් "ගොවිතැන" පිළිබඳව මහානාම කුමරුන් විසින් කල ප්‍රකාශයන් පූජාවලියේ මෙසේ සඳහන් කර ඇත.“ සී සෑම ඉතා අමාරු දෙයකි. නඟුලත්, වියදණ්ඩත් පෝරුවත්,ගොන් බානත් ගොවියෙක් වැනි අටලොස්සක් දෙනා උපයෝගි කරගෙන යන ගමන සීසෑමයි. සීසෑවට පසු කුඹුරෙහි ඇළ මං පාදාගෙන සුභ නැකතින් බිම් සදා දෙවරක් තුන්වරක් සීසා නියර කපා බිම සකස් කර පෝරු ගා බීජ කුඹුරෙහි වපුරා ගත යුතුය. කුඹුර වටා වැටක් ගසා ගොයම්ගස වැඩෙන අවස්ථාවෙහි පැලක් සදා එය ආරක්ෂා කළ යුතුය. දිවා රෑ නිදි නොබලා ඌරන්, මුවන් මීමන් ආදී සතුන්ගෙන් හාරමසක් ආරක්ෂා කළ යුතුය. කරල් පූදින මුල් අවස්ථාවේදී රෝග සෑදේනම් එයට පිළියම් යෙදිය යුතුවේ. සීනටි කුඹුරක්නම් තුන් හාර මසක් රැකිය යුතුය. මව් කුඹුරක් නම් හය මසක් හත්මසක් රැකිය යුතුය.” යනුවෙන් සඳහන් විණි. එවැනි කොතරම් අපහසු කාරයක් වුවද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින් එම කාර්යය ජයගෙන අද රටේ ආර්ථික සංවර්ධනයට දායක වීම වෙනුවෙන් වී වගාව, බඩඉරිඟු, රටකජු, කුරක්කන්, කව්පි, මුං ඇට, උඳු, මිරිස්, තල, ආදී බෝග ඇතුලත්ව, එළවළු හා පළතුරු වර්ග වගා කිරීම දිවයින පුරා පිහිටි බලකා මූලස්ථාන මගින් ආරම්භ කර ඇත.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කල “සෞභාගයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශණයට ප්‍රකාරව නිරෝගී සහ ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමට, වස විසෙන් තොර ආහාර වේලක් සඳහා වූ ජනතා අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් සිවිල් ආරක්ෂක සාමාජිකයින් කිසිදු රසායනික පොහොරක් හෝ කෘමි නාශක භාවිතයකින් තොරව කාබනික පොහොර පමණක් භාවිතා කරමින් කෘෂි ව්‍යාපෘතින් සියල්ල වස විසෙන් තොර ස්වර්ණ භූමි බවට පත්කරමින් පවතී. මේ වන විට සිවිල් ආරක්ෂක සාමාජිකයින් රට පුරා ගොවි බිම් අක්කර 2187ක ප්‍රමාණයක් වී වගා කර ඇති අතර, 2018 වර්ෂයේ රුපියල් මිලියන 47 ක්, 2019 වර්ෂයේ රුපියල් මිලියන 89ක්, 2020 වර්ෂයේ රුපියල් මිලියන 17 හා 2021 මේ වන විට රුපියල් මිලියන 85 වශයෙන් රාජ්‍ය භාණ්ඩාගාරය වෙත ලබා දී ඇත.
එපමණක් නොව බඩඉරිඟු අක්කර 1794 ක් 2021 වර්ෂයේ මේ වන විට වගා කර අවසන් කර ඇති අතර, 2018 වර්ෂයේදී රුපියල් මිලියන 62 ක්, 2019 වර්ෂයේදී මිලියන 48 ක්, 2020 වර්ෂයේදී රුපියල් මිලියන 5 හා 2021 වර්ෂයේ මේ වන විට රුපියල් මිලියන 98 වශයෙන් වගාවන්හි ආදායම් වශයෙන් රාජ්‍ය භාණ්ඩාගාරයට බැර කර ඇත.
වෙනත් බෝග, පළතුරු හා එළවළු අක්කර 2967 ප්‍රමාණයක් පවත්වාගෙන යනු ලබන අතර, පසුගිය වර්ෂයන්හි වගාවන් වල අස්වැන්න වශයෙන් 2018 වර්ෂයේදී රුපියල් මිලියන 65 ක්, 2019 වර්ෂයේදී මිලියන 66 ක්, 2020 වර්ෂයේදී රුපියල් මිලියන 45 හා 2021 වර්ෂයේ මේ වන විට රුපියල් මිලියන 69 රාජ්‍ය භාණ්ඩාගාරයට බැර කරන ලදි.
සිවිල් ආරක්ෂක දොපර්තමේන්තුව මගින් 2021 / 2022 මහකන්නය වෙනුවෙන් අක්කර 3320 ප්‍රමාණයක් කෘෂි ව්‍යාපෘති වශයෙන් ආරම්භකර ක්‍රියාවට නැංවීමට යෝජිතව ඇත.
නවීන තාක්ෂණික උපකරණ භාවිතා කර හරිතාගාර ක්‍රම උපයෝගී කර ගනිමින් අවම මිනිස් ශ්‍රමයක් යොදා ගනිමින් වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහා වූ ක්‍රියාවලියේ මූලික බිම් සැකසීමේ සිට, ද්විතීක බිම් සැකසීම, බීජ හෝ ශාක රෝපණය කිරීම, අතුරුයත්ගෑම, පොහොර යෙදීම, පළිබෝධ මර්ධනය, අස්වනු නෙලා ගැනීම, ශුද්ධ කිරීම, පිරිසිදු කරගත් අස්වනු ගබඩා කරණය හා පරිභෝජනය සඳහා එම අස්වනු සැකසීම ආදී මුළුමහත් ක්‍රියාවලියම සිවිල් ආරක්ෂක සාමාජිකයින්ගේ ශ්‍රමයෙන් සිදු කරමින්, වැඩි අස්වැන්නක් ලබා දෙමින්, ගොවි බිමට අරුණැල්ලක් පායමින්, රටේ ආරථික සංවර්ධනයට ශක්තියක් ලබා දීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඒකායන බලාපොරොත්තුව වේ.